දේශීය

අනු කාරක සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැඩි අප්‍රසාදය

බංකලොත් බව ප්‍රකාශ කරමින්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්‍රතික්‍ෂේප කළ අමු අහාර සැපයුම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවෙක් ලෙස කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණයවී තිබෙනවා.

විගණන නිලධාරීන් පවසන්නේ, ප්‍රසම්පාදන කමිටුවේ තීරණය නියමිත පරිදි ගිවිසුම් කොන්දේසි වලට ඇතුළත් නොකිරීම නිසා අදාළ සැපයුම්කරුගෙන් එම හිඟ මුදල් ලබා ගැනීම ගැටලුකාරීවී ඇති බවයි.

කෙසේවෙතත් බංකලොත් බව ප්‍රකශ කළ සැපයුම්කරුවෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් ආයතනයක සැපයුම්කරුවෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇත්තේ කෙසේද යන්න සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

තවදුරටත් අදාළ හිඟ මුදල් නොගෙවූ සැපයුම්කරුවන් ආරක්ෂා නොකොට ඔවුන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් කඩිනම් අයකර ගැනීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අනු කාරක සභාව සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ භාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව 2023.11.09 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.

සියලුම රජයේ ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර ඔස්සේ කාර්ය මණ්ඩල පැමිණීම හා පිටවීම සනාථ කරන ලෙස 2017 වසරේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැයකරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කරන ඇති බව සඳහන්.

එහිදී සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්‍ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්න සභාපතිවරයා විමසා තිබෙනවා.

ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බවත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කළා.

පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණ වලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන සතු ඉඩම්වල හිමිකම් ඔප්පු, මිනින්දෝරු සැලසුම්, තක්සේරු කිරීම් වල ගැටලු පිළිබඳව මෙන්ම අතර මග නවතා දමා ඇති ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන්ද අනුකාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර බව සඳහන්වනවා.

එහිදී සූදානමකින් තොරව අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා අනු කාරක සභාව හමුවේ පෙනීසිටි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අනු කාරක සභාවේ දැඩි අප්‍රසාදය හිමිවී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වජිර අබේවර්ධන, මංජුලා දිසානායක, මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගීවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button