ක්‍රීඩා

ලබන වසරෙත් ශ්‍රී ලංකාව ට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයක්

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම 8 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (06) නිවේදනය කළා.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයට සෘජුව සුදුසුකම් ලබන්නේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 2 සහ නොවැම්බර් 15 වනවිට විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්ඩායම් 6 පමණයි.

ඔස්ට්‍රේලියාව හමුවේ ඊයේ ලද පරාජයත් සමඟ බටහිර ඉන්දීය කොදෙව්වන් එම ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානයට පත්වී ඇති අතර ශ්‍රී ලංකාවට එම ශ්‍රේණිගත කිරීමේ හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට ලබන වසරේ විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12දෙනාගේ වටය සඳහා පිවිසීමට නම් සුදුසුකම් ලබා ගැනීමේ වටයකට ක්‍රීඩා කළ යුතු වනවා.

එම රටවල් දෙකට අමතරව නැමීබියාව හා ස්කොට්ලන්ත කණ්ඩායම්ද සුදුසුකම් ලබාගැනීමේ වටයකට ක්‍රීඩා කළයුතු වන අතර එම වටය සඳහා තවත් කණ්ඩායම් 4ක් සුදුසුකම් ලැබීමට නියමිතයි.

මේ අතර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට සිදු වුයේ මෙවර තරඟාවලියෙන් ඉවත්ව යාමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button