දේශීය

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරුණු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා.

2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් හතකින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව, රටවල් 165ක් අතරින් 87 වන ස්ථානයට පත්ව ඇතැයි විග්නරාජා මහත්මිය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා විදෙස් ආයෝජකයන්ගේ ආකර්ශණය දිනාගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම්වලට විසඳුම් සොයන අතරතුර, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැහැදිලි කර තිබෙනවා.

ඒ වෙනුවෙන් “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” සහ “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය” ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා කන්නි විග්නරාජා මහත්මිය හට පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button