දේශීය

විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද (27) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරුවරයා වෙත යොමු කරන බව දිසා විනිසුරු විතාන මහතා නියෝග කළා.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරුවරයා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.

ලසන්ත අලගියවන්න මහ​තා, මහින්ද අමරවීර මහ​තා සහ දුමින්ද දිසානායක මහ​තා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button