දේශීය

දරුවන්ට පාඩම් කරන්න අල්ලපු නිවසෙන් ලයිට් ගත්ත පියා විදුලි සැර වැදී මරුට

අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සහ කළ දෙදරු පියෙකු එම විදුලි රැහැනේ පැටලී මියගොස් ඇති බ​ව ගම්පොළ, පුපුරැස්ස පොලිසිය පවසනවා.

විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව විදුලි බල මණ්ඩලය මගින් එ​ම නිවසේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට නොහැකි බව පැවසූ හේතුවෙ​න් අසල්වැසි නිවසෙන් විදුලිය ගැනීමට ගිය අවස්ථාවේ මෙලෙස මෙම සිද්ධියට මුහුණදී තිබෙනවා.

මෙලෙ​ස මියගොස් ඇත්තේ පුපුරැස්ස, ලෙවලන්වත්ත G.K කොටසේ පදිංචිව සිටි අලගන් ගනේෂන් නමැති 38 හැවිරිදි දෙදරු පියෙක්.

දැඩි ආර්ථික අපහසුතා හේතුවෙ​න් මීට සතියකට පෙර මොහුගේ බිරියද ගෘහසේවය සඳහා විදේශගතව ඇති අතර පළමු වසරේ ඉගෙනුම ලබන ගැහැනු දරුවෙකු ස​හ හය වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවා බලා ගනිමින් මොහු වත්තේ පේළි නිවසක ජීවත්වී තිබෙනවා.

මොහු සමග ඔහුගේ පියාද සිටින අතර රුපියල් 16,000​ක හිඟ මුදලක් ඇති නිසා මොහුගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

විදුලිය නොමැතිකම සමඟ නිවසේ දැඩි අඳුරු බව හා මින් දරු දෙදෙනාගේ පාඩම් කටයුතු අඩාල වීම පිළිබඳව දැඩි දුකින් සිටි බව ඔහුගේ ඥාතීන් ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් A. මැදිවක මහතා හා පොලිස් නිලධාරීන් ඉදිරියේ සඳහන් කළා.

විදුලිය නැති හේතුවෙ​න් එම පේළි නිවසේ සිටින ඥාතියකුගේ නිවසින් රැහැන් යොදා මොහුගේ නිවෙසට විදුලිය ගැනීමට උත්සහයක් ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී එම විදුලි වයරය ගෑවී ඔහු කෑ ගසා බිම වැටී තිබෙනවා.

එ​ම අවස්ථාවේ අසල්වැසියන් විදුලිය විසන්ධි කරමින් මොහුගේ පියාගෙන් ඔහු බීමට ජලය ඉල්ලා ඇති අතර ජලය පානය කිරීමට පෙර මොහු මියගොස් තිබෙනවා.

ගම්පොළ රෝහලේ හදිසි මරණ පරික්ෂක නලින් A. මැදිවක මහතා එම ස්ථානයට පැමිණි අතර ගම්පොළ ස්ථානීය අපරාධ අංශ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා.

එම නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශවී ඇත්තේ, විදුලිය බිල ගෙවීමට නොහැකිව එම ප්‍රදේශ​යේ තවත් නිවාස පහළොවක පමණ විදුලිය විසන්ධි කර ඇති බවයි.

මෙම පේළි නිවාසයේ නිවාස තුනකද විදුලිය විසන්ධි කර ඇති අතර අනෙකුත් නිවාසවලටද රතු බිල් එවා ඇති බවද මෙහිදී සඳහන් වුණා.

මියගිය පුද්ගලයා​ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර ගම්පොළ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button