දේශීය

මෙරටට විදුලි ව්‍යාපෘති 27ක් අහිමිවෙයි

ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලෙස පැමිණි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27කට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුමැතිය ලබාදී තිබුණද ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී නොමැති බැවින් එම ව්‍යාපෘති මෙරටට අහිමිව යාමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණයවී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් නිලධාරිහු එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

මෙම සාකච්ඡාවේදී අනාවරණයවී ඇත්තේ, ඉන්දියාවේ අදානී සමූහය පුනරින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියද මේ අතර තිබෙන බවයි.

මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අතර වහල මත සවිකරන සුර්ය පැනල ව්‍යාපෘති, සුළං මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති සහ ජල විදුලි ව්‍යාපෘතිද තිබෙන බව හෙළිවී ඇති බව සඳහන්වනවා.

ඒ අනුව මෙම විදේශ ව්‍යාපෘතිවලට අනුමැතිය ලබානොදීම සම්බන්ධයෙන් දෙසතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලබාදුන් කොන්දේසි ඉටු නොකළ දේශීය සහ විදේශීය ආයෝජන ව්‍යාපෘති 118ක් මේවන විට නතර කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ජල විදුලි ව්‍යාපෘතියක් හෝ සූර්ය පැනල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් අවසර ලැබෙන්නේ වසර දෙකක ගිවිසුම් ගත කාලයකට යටත්ව සහ පරිසර ඇගයීම් වාර්තාවක් සමග ලබාදෙන ඉඩම් වාර්තාවක්ද ලබාදුන් පසු ලබාදෙන විදුලි නිෂ්පාදන බලපත්‍රය ලබගත් පසුව බවයි වාර්තාවන්නේ.

නමුත් මෙම ආයෝජන ව්‍යාපෘති 118 ඉහත සඳහන් කළ සුදුසුකම් සපුරා නොමැති බැවින් ඒවා ආරම්භ කිරීමට ඉඩ ලැබී නොමැති බව අනාවරණයවනවා.

මෙම ව්‍යාපෘති 118 ක්‍රියාත්මක කිරීමට හැකිවූවා නම් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 278 ක් එකතු වීමට හැකියාව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button