ලිංගික හිංසනයකින් මියගිය 17 හැවිරිදි දැරියක් නිසා තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක තත්ත්වයක්

තමිල්නාඩු ප්‍රාන්තයේ 17 හැවිරිදි දැරියක් තමා ලිංගික අතවරයකට ගොදුරු වූ බව පවසන සටහනක් තබමින් දිවි නසාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
17 හැවිරිදි දැරිය ඇගේ නිවසේ මියගොස් සිටිය දී සොයා ගැනුණ අතර ඇගේ අත් අකුරින් ලියා තිබූ සටහනෙහි,”ලිංගික හිංසනයෙන් මිය ගිය අවසන් දැරිය මම විය යුතුයි”යනුවෙන් සටහන්ව තිබූ බව පොලීසිය පවසනවා.
පොලිසියේ ඉහළ නිලධාරියකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඇගේ අත් අකුරු වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.
එරට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 174 වගන්තිය යටතේ අස්වාභාවික මරණය සම්බන්ධයෙන් මේ වන විටත් නඩුවක් ගොණු කර ඇති නමුත් ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් අපරාධකරුවකු නම් කර නොමැති බැවින් අපරාධකරු සොයා ගැනීම සඳහා පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ වන විටත් පොලිස් කණ්ඩායම් හයක් මිය ගිය දැරියගේ මිතුරන්,ඇගේ ගුරුවරුන් පවුලේ අයගෙන් සාක්ෂි ලබා ගනිමින් සිටින බව ද පොලිසිය සඳහන් කරනවා.