දේශීය

ක්‍රිකට් තහනම් කරන්න ෂම්මි සිල්වා ICCයෙන් ඉල්ලීමක් කළා

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වනවා.

එම කවුසිලයේ විශේෂ හමුවක් නොවැම්බර් 18-21 කාලයේදී ඉන්දියාවේ අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අනතුරුව නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගත යුතු අනෙකුත් තීරණ ගැන සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වනවා.

මෙම ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදුකළ බව, ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බවද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දී තිබුණා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ 2014 – 2015 කාලය තුළ ක්‍රිකට් අතුරු කමිටුවක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පිළිගෙන ඇති බවයි.

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩ ව තරග පරාජය වීමත් සමඟ හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රිඩා අමාත්‍ය ‍රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button