ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළට

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ ගණන 25,891ක්.
මෙම කාලය තුළ ඩෙංගු මරණ ද 9ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහන් කළා.
ඒ අනුව ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ද 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 5,624ක් ලෙසද සටහන්.
ඉන්පසු වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3,930ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,487ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,986ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,441ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,372ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.