දේශීය

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා හා ජනපති අතර හමුවක්

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

2022 පෙබරවාරි 19 වන දිනට 65 වසරක් පිරෙන ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා නිකොලායි මහතාගේ මෙම සංචාරය මඟින් තවදුරටත් ශක්තිමත් කෙරෙන බව මෙහිදී ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.

නිකොලායි මහතා මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍ර 5,000ක ප්‍රදානය හා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රුසියාව ලබා දුන් සහාය පිළිබඳවත්, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුසියානු ජාතිකයින් 49,379 දෙනෙකු පසුගිය වසරේ මෙරට සංචාරය කිරීම පිළිබඳවත් ජනාධිපතිතුමා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළා.

රුසියානු ජීඑස්පී (GSP) ක්‍රමය යටතේ සිදු කරන අපනයන නිෂ්පාදන පුළුල් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් කොළඹ වරාය නගරය, බලශක්ති, ඖෂධ නිෂ්පාදන, තොරුතුරු තාක්ෂණ, කෘෂිකර්මාන්ත සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකොලායි පට්රුශෙව් මහතාට සදහන් කළා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස, දියුණු වෙමින් පවතින රටවල සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් රුසියාව වෙත ප්‍රශංසාව පළ කළ ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් දැඩි සහයෝගයට මෙහිදී කෘතඥතාව පළ කළා.

ත්‍රස්තවාදයට එරෙහි ලංකාවේ සටනේදී රුසියාව දැක්වූ සහයෝගය ජනාධිපතිවරයා මෙහිදී අගය කළා.

බුද්ධි තොරතුරු හුවමාරුව, ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් සිදු කරන මුදල් යෙදවීම් නැවැත්වීම ඇතුළුව අන්තවාදී, ත්‍රස්තවාදී සහ සයිබර් තර්ජන කටයුතු නැවැත්වීම වෙනුවෙන් දෙරට අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා නිකොලායි පට්රුශෙව් මහතා වෙත පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button