දේශීය

දකුණු ආසියාවේ දේශගුණික විපර්යාස ස​හ ආපදා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සැසිය කොළඹදී

දකුණු ආසියාවට නිරතුරුවම ලැබෙන හිරුඑළිය තිරසාර බලශක්තියක් ලෙස භාවිතා කිරීම නැගී එන ආර්ථිකයට පිටුවහලක් බ​ව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ, ආසියානු කලාපයේ දේශගුණික විපර්යාස මඟින් එල්ල වන අභියෝග හමුවේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම සහ හරිත මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

පුනර්ජනනීය බලශක්තිය දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීමට, පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීමට සහ බලශක්ති සුරක්‍ෂිතතාවයට දායක වීමට ශක්‍ය විසඳුමක් ඉදිරිපත් කරන බවත් දකුණු ආසියානු කලාපයේ බහුල හිරුඑළිය මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශාල අවස්ථාවක් ලබා දෙන බවත් ජෙනරාල්වරයා පවසන​වා.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහ​තා මෙ​ම අදහස් පළ කළේ ඊ​යේ(15) කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති උත්සවයකදීයි.

බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ජර්මනිය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල විශේෂඥයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට එක්ව සිටියා. 

දකුණු ආසියානු රටවල දේශගුණික විපර්යාසවල බලපෑම් සහ තිරසාර අනාගතයකට මාරු වීම සඳහා සහයෝගීත්වයේ  ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවයද ජෙනරල් ගුණරත්න මහතා  එහි​දී අවධාරණය කළා.

එහි​දී පුනර්ජනනීය බලශක්ති සහ හරිත මූල්‍ය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ මුලපිරීම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයන්, ව්‍යාපාර, සිවිල් සමාජ සංවිධාන සහ විද්වතුන් එක්ව කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

 බහුපාර්ශ්වික සහයෝගීතාවය සහ දැනුම හුවමාරු කර ගැනීම දේශසීමා හරහා සිදුවන පාරිසරික අභියෝගවලට මුහුණදීමට සහ සැමට සාධාරණ සංක්‍රාන්තියක් සහතික කිරීමට ඉතා වැදගත් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා. 

Regional Program Energy Security and Climate Change Asia-Pacific (RECAP) ආයතනය, Consortium of South Asian Think Tanks (COSATT) යන ආයතන හා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සමඟ එක්ව Konrad-Adenauer-Stiftung විසින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන මැයි 17 දින දක්වා පැවැත්වෙනු ඇති.

දකුණු ආසියානු කලාපයේ කුඩා රටවල් මුහුණ දෙන දේශගුණික විපර්යාස හා සම්බන්ධ අභියෝග පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ හරිත මූල්‍ය පිළිබඳ පුළුල් දැනුමක්, විශේෂයෙන් තරුණ වෘත්තිකයන් අතර පෝෂණය කිරීම මඟින්, ගැටලු ඵලදායී ලෙස විසඳීමට අවශ්‍ය උපක්‍රම සමඟ සහභාගිවන්නන් සන්නද්ධ කිරීම ද අපේක්‍ෂා කෙරෙන බව ඔහු වැඩිදුරටත් පවසනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button