දේශීය

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය තිබුණා නම් ක්‍රිකට් තහනමකට ලක් වන්නේ නෑ – ලක්ෂ්මන් කිරිඇල්ල

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය තිබුණා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් වෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ, පසුගියදා (11) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක්කර තියෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හේතු ගණනාවක් සඳහන් කර තිබෙන අතර ප්‍රධාන හේතුව තමයි ජාත්‍යන්තර ක්‍රිකට් නීති අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතු බව. දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනත්වය ආරක්ෂා කළේ නෑ, විවිධ බලපෑම්වලට යටත් වුණා කියලයි. ඒ වගේම එම නිවේදනයේ සඳහන් වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් තියෙනවා කියලා.

ජාත්‍යන්තර ක්‍රිකට් නීති අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය ස්වාධීන විය යුතුයි. ආණ්ඩුවේ බලපෑමක් නොතිබිය යුතුයි. මෙම කාරණා දෙකම උල්ලංඝනය කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් මේක දැනගත්තට පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරනවා නම් මුළු ශ්‍රී ලංකාවටම ක්‍රිකට් තහනමක් දාන්න කියලා. මේක මහා පාවාදීමක්.

විපක්ෂ නායකතුමා මේ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළා. ඇත්ත වශයෙන්ම මේක යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ වැඩක්. ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරලා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයත් විනාශ කරලා යන්න තමයි ඔවුන් කටයුතු කරලා තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button