දේශීය

නීතිපති ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් මා නිවැරදිකරු – පාස්කු නඩුව ආරම්භයේදි පූජිත් කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ රාජකාරිය පැහැරහැරීමට අදාළව තමාට විරුද්ධව ගොනුකර ඇති චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ අදාළ නඩුව අද පෙරවරුවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදියි.

එහිදී පළමුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා 855 විත්තිකරුට කියවා දෙනු ලැබු අතර එහිදි විත්තිකාර පුජීත් ජයසුන්දර මහතා සඳහන් කළේ එම චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවයි.

ඉන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනය සිදුකළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ 2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් ජාතික තවුහීද් ජමාත් නමැති අන්තවාදී සංවිධානය විසින් දිවයිනේ ස්ථාන 08 කට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් පදනම් කර ගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බවයි.

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබියදීත් ඒ වන විට ශ්‍රී ලංකා ජනරජයේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි විත්තිකරු නොසැලකිලිමත් ලෙස රාජකාරිය පැහැර හැර එය වළක්වා ගැනීමට ක්‍රියානොකිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා මෙම නඩුව ඉදිරිපත් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

විත්තිකරුට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා 2019 වසරේ අප්‍රේල් මස 07 වනදා සිට 21 වනදා දක්වා කාල සීමාව තුළ හටගත් සිදුවීම් ක්‍රමානුකූලව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා 855 ක් සහ සාක්ෂිකරුවන් 1215 දෙනෙක් අධිකරණය හමුවට දිරිපත් කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා හෙට (23) දින දක්වා කල්දැමුණා.

2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු පිරිසක් දිවයිනේ කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව චෝදනා 855ක් එල්ල කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

එම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා එය ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෛනිකව විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව දෛනිකව විභාගයට ගැනීමට නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button