දේශීය

සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණ ප්‍රතික්ෂේප කරලා

සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තබා සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණයවී තිබෙනවා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්යමණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.

රජයේ සියලුම ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර ඔස්සේ කාර්යමණ්ඩල පැමිණීම හා පිටවීම සනාථ කරන ලෙස 2017 වසරේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කරන බව වාර්තාවනවා.

එහිදී සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්නද සභාපතිවරයා විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බවත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කර තිබුණා.

පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණවලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button