IMF එකඟතා හෙළිදරව් කරන්න-සජිත් ප්‍රේමදාස

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියා.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ, “කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වූණු මාණ්ඩලික එකඟතා ගිවිසුම සභාගත කරන්න. එවිට එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අපටත් රටටත් යම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. ඒ වගේම අපට හැකියාව ලැබෙනවා එය පරිශීලනය කරලා රටට වඩාත් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග කවරේද පිළිබඳ අපේ මතයත් ඉදිරිපත් කරන්න.”යනුවෙන්.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවය.එම යෝජනාවට එකඟ වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද පාර්ලිමේන්තුවට කියා සිටියේ, අදාල එකඟතා හෙළිදරව් කළ යුතු බවය.
මේ අතරවාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ, එවක බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ, එවක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව කටයුතු කරමින් සිටින විට මුදල් අමාත්‍යවරයාගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා හෙළි කරන ලෙස ඉල්ලා සිටියත් දැන් එම එකඟතා හෙළි කිරීමට කටයුතු නො කරන්නේ මන්දැයි යනුවෙන්.