විරෝධතා නිසා ගෝල් ෆේස් ඇවිදින මංතීරුවට වූ හානිය රුපියල් මිලියන 6.5ක්

පසුගිය අප්‍රේල් සිට ජුලි අග දක්වා ගාලු මුවදොර ආශ්‍රිත පරිශ්‍රයන්හි පැවති මහජන විරෝධතාවන් හේතුවෙන් ගාලු මුවදොර පිටියේ ඇති ඇවිදින මංතීරුවට සිදුව ඇති හානිය රුපියල් මිලියන 6.5ක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) දන්වනවා.
මාස ගණනාවක් පුරා පැවති විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස අවට තාප්ප, කඩ සාප්පු සහ බංකු වැනි ඉදිකිරීම්වලට හානි සිදුව ඇති බව ද වරාය, ගුවන් සේවා සහ නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවා.
ඒ අනුව එම පරිශ්‍රයෙහි වෙළෙඳාමේ නියැලුණු බලයලත් වෙළෙන්දන් නැවත එහි වෙළෙඳ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර, අදාල හානිය සිදු වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීමට වරාය අධිකාරියට සිදුව ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර EconomyNext පවසන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිතයෙක් ඔවුන් හා පැවසුවේ, ගාලු මුවදොර ප්‍රදේශයේ කළමනාකරණ හා නඩත්තු කටයුතු භාරව ඇත්තේ වරාය අධිකාරිය යටතේ බවත් ‘ගෝඨා ගෝ ගම’ පිහිටි පරිශ්‍රය අයත් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය අගෝස්තු මස මුල දී කියා සිටියේ ගාලුමුවදොර ප්‍රදේශයේ පැවති විරෝධතා හා උද්ඝෝෂණ හේතුවෙන් එම ප්‍රදේශයට සිදු වූ හානිය විරෝධතාකරුවන්ගෙන් මූල්‍යමය වශයෙන් අය කර ගත යුතු බවයි.
පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම මාසයේ අග දී අදාල භූමි භාගයට සිදු වූ හානිය තක්සේරු කළ අතර, එම හානිය රුපියල් ලක්ෂ 49ක් බව සඳහන්.
ඒ අනුව එම භූමි භාගයේ නැවත තණකොළ සිටු වීම සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 47ක් බව ද තක්සේරු කළා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පැවති රජයට එරෙහිව නැගුණු මහජන විරෝධතාවේ මරමස්ථානය බවට පත් වූයේ ගාලුමුවදොර පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය වූ අතර හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස් වීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළින් පත් වූ නව ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විරෝධතාකරුවන්ට ඔවුන් වාඩි ලා සිටි භූමි භාගයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන් පසු එම පිරිස් ජුලි අග දී එම භූමියෙන් නිල වශයෙන් ඉවත් වීමට කටයුතු කළා.