දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් තීරණයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් ක​ළ එම යෝජනාව සඳහා එලෙස අනුමැතිය හිමි වුණා.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,1988 අංක 27 දරන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය (සංශෝධන) පනත මගින් විශ්වවිද්‍යාලයක් බවට පත් කර තිබුණා.

සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාව අනුව වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ශිෂ්‍ය භට නිලධාරින් පුහුණු කර වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය (MBBS) උපාධි පිරිනැමීම පිණිස 2011 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම් මත පමණක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා ගත හැකි වන බව රජය පවසනවා.

රජය පවසන්නේ එ​ම අවස්ථාව තවදුරටත් පුළුල් කරමින් 2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම්කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button