ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ලෙස තීන්දු කරන ලෙසත් ඒවා සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමතවී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබූ අතර එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කරු පවසන්නේ, අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් යුද හමුදාව, පොලිසිය සහ වෙරළාරක්ෂක බලකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බවයි.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පෙන්වාදෙනවා.
එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, සමාජවාදී තරුණ සංගමය ඇතුළු පිරිසක් විසින් මේ වනවිට පෙත්සම් ගොනු කරනු ලැබ තිබෙන බවද සඳහන්.