දේශීය

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණයෙන් නියෝගයක්

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙන​වා.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ අවධානය යොමු කරමින්.

එහිදි අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකර ඇති නිලධාරින් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක බන්ධනාගාර නිලධාරින් වැටුප් ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්   ලෙඩ නිවාඩු වාර්තා කර අද සේවයට වාර්තාකර නොමැති බව වාර්තා වනවා.

බන්ධනාගාර නිලධාරින්ගේ සියලු නිවාඩු අවලංගුකර ඇති බැවින් සියලුදෙනා වහාම සේවයට වාර්තා කළ යුතු බවට බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා අද නිවේදනය කළා.

වැටුප් ඉහළ නොදැමීම, නිලධාරී හිඟය විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බන්ධනාගාර නියාමක සහ සැරයන්වරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස ලෙඩ නිවාඩු දමා ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව වැලිකඩ, ගාල්ල සහ මාතර යන බන්ධනාගාරවල බන්ධනාගාර නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රවිශ්ඨ වී ඇති බවට වාර්තාවනවා.

බන්ධනාගාර තුළ ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රැදවියන් බැලීමට අවස්ථාව ලබාදීම මෙන්ම රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණයට රැගෙන යාමටද බාධා එල්ල වී තිබූ බව වැඩිදුරටත් වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button