නවසීලන්ත ඝාතකයාගෙන් අභියාචනයක්

මීට වසර දෙකකට පෙර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේදී මුස්ලිම් පල්ලි දෙකකට ප්‍රහාර එල්ලකළ මුස්ලිම් ජාතිකයින් 51 දෙනෙක් ඝාතනය කළ පුද්ගලයා ඔහුට ලබාදී ඇති “ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම” ට එරෙහිව අභියාචනයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ නීතිඥයා පවසනවා.
බ්රෙන්ටන් ටැරන්ට් පවසා ඇත්තේ වරද පිළිගන්නා ලෙස ඔහුට බලකර බවත් එබැවින් තමාට අධිකරණයෙන් දුන් දඬුවමට එරෙහිව අභියාචනයක් යොමුකරන බවයි.
2019 මාර්තු 15 වනදා ආයුධ සන්නද්ධව මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදුණු ටැරන්ට්, එහි සිටි බැතිමතුන් 51ක් ඝාතනය කර තවත් 40 දෙනෙකුට තුවාල සිදුකළා.
එය නවසීලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙස සඳහන් වනවා.
නඩු විභාගයෙන් අනතුරුව පසුගිය වසරේදී ටැරන්ට්ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කළා.
නවසීලන්ත ඉතිහාසයේ චූදිතයෙක්ව ජීවිතාන්තය දක්වා සිරගත කළ පළමු අවස්ථාව එයයි.
නඩු විභාගය ඇරඹීමට පෙර ඔහුට “අමානුෂික සහ ඉතා පහත් ලෙස” සැලකීම හේතුවෙන් තමා වරද පිළිගත් බව ටැරන්ට් ඔහුගේ නීතිඥයා වන ටෝනි එලිස්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.