දේශීය

හදිසි අනතුරුවලින් වසරකට 10,000​ක් පුද්ගල මරණ

හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

ඔහු පවසන්නේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ දස දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුවන බවයි.

සමිත සිරිතුංග මහතා මේ බව සඳහන් කළේ, රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් එම මරණ සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ලංකාවේ රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර ලබන්න එන අයගෙන් වැඩිම ප්‍රමාණයක් ඇතුළත් වෙන්නේ හදිසි අනතුරු නිසා. ඇත්තටම ලංකාවේ ජනගහනයෙන් සෑම 5 දෙනෙකුගෙන් හෝ 6 දෙනෙකුගෙන් එක් අයෙක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සෑම අවුරුද්දකම කරගන්නවා. මරණ සංඛ්‍යාව ගත්තහම දළ වශයෙන් අවුරුද්දකට 10,000කට අධික ප්‍රමාණයක් අනතුරු හේතුවෙන් මිය යනවා. ඒකෙන් කියන්නේ දවසකට 32 – 35ක් අතර ප්‍රමාණයක් හැම දවසකම අපිට අහිමි වෙනවා. ඒකෙන් කියන්නේ, හැම පැය 3කට සැරයක්ම අපිට දළ වශයෙන් 4 දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වෙනවා. ආර්ථිකයට ප්‍රධාන ලෙසම දායකත්වය දක්වන අවුරුදු 15 සිට 44 දක්වා වන වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වන්නේ අනතුරු.”

මේ අතර අප්‍රේල් මාසය තුළ රිය අනතුරු ඉහළ යා හැකි බැවින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව කොළඹ රථ වාහන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button