සටන් විරාමයක් ගැන හමාස් නායකයාගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සමග සටන් විරාම එකඟතාවකට එළඹීමට ආසන්න බව පලස්තීන හමාස් සන්නද්ධ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ප්‍රකාශ කර තිබෙනවා.
හමාස් නායකයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය සාකච්ඡාවල මැදිහත්කරුවන කටාරය වෙත යවා ඇති බවයි.
එම නිවේදනයේ සටන් නැවැත්වීමේ එකඟතාව ඇතිවන ආකාරය පිළිබඳව විස්තර සඳහන් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේනමුත් හමාස් ප්‍රකාශකයෙකු අල් ජසීරා ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ සටන් නැවැත්වීමේ කාලසීමාව, ගාසා තීරයට සහනාධාර සැපයීම සහ ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීනුවන් නිදහස් කිරීමට හිලව් ලෙස හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගතවී ඇති බවයි.
හමාස් ප්‍රකාශකයා සඳහන් කළ පරිදි දෙපාර්ශ්වය විසින්ම කාන්තාවන් සහ ළමයින් මුලින් නිදහස් කරනු ඇති බවත් එය සිදුවන ආකාරය කටාර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
අන්තර් ජාතික රතුකුරුස කමිටුවේ සභාපතිනිය වන මිරානා ස්පල්ජර්ක්, කටාර් රාජ්‍යයේදී ඊයේ (20) හමාස් නායක ඉස්මයිල් හනියේ හමුවී ඇති අතර ඊශ්‍රායල – හමාස් ගැටුමට සම්බන්ධ වැදගත් මානුෂීය කරුණු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර තිබුණා.
ඇය කටාර් බලධාරීන් සමගද වෙනම සාකච්ඡාවක් පැවැත්වු බව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එමගින් ඇය පවසන්නේ, තමන් ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ සාකච්ඡාවල පාර්ශවකරුවෙකු නොවුවත් දෙපාර්ශ්වය විසින් ඉදිරියේදී එකඟවන ආකාරයකට ඒ සඳහා පහසුකම් සැලසිය හැකි බවයි.
මේ අතර ප්‍රාණඇපකරුවන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බැවින් අත්අඩංගුවේ පසුවන හමාස් සන්නද්ධ සාමාජිකයන්ට මරණ දඬුවම පැනවීම තබා ඒ පිළිබඳ කතාකිරීමෙන් පවා වළකින ලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් එරට රජයේ ඉල්ලීමක් කර ඇති බව සඳහන්වනවා.
සිය අත්අඩංගුවට පත් හමාස් සාමාජිකයන්ට මරණ දඬුවම පැනවිය යුතු බව යෝජනා කළේ ඊශ්‍රායල රජයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන් – ගවියර් විසින්.
ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබාදීම ගැන ප්‍රාණඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් නොසතුට පළකළේ එම ප්‍රකාශය හේතුවෙන් ඊශ්‍රායලය තුළ මරණ දඬුවම ගැන විවාදයක්ද පැන නැගීම හේතුවෙන් බවයි වාර්තාවන්නේ.
ඔවුන් පවසන්නේ ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින තම ඥාතීන්, හමාස් සංවිධානය විසින් ඝාතනය කිරීමේ අවදානම අවසන්වී නොමැති බවයි.
හමාස් සංවිධානයට තර්ජනය කිරිමෙන් ඔවුන් තම ඥාතීන් ඝාතනය කිරීමට පෙළඹුණහොත් ඊට වගකිව යුත්තේ ඊශ්‍රායල රජය බව සිය සොහොයුරිය ප්‍රාණ ඇපකාරියක බවට පත්වූ අයෙකු ඊශ්‍රායල රජයට පවසා තිබෙනවා.
එමෙන්ම තම ඥාතීන් තුන්දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටින ඊශ්‍රායල කාන්තාවක් පවසා තිබෙන්නේ, රජයක් වශයෙන් ඊශ්‍රායලය ජීවිතයක් ලබාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු අතර පළිගැනීම ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු කරුණක් නොවන බවයි.
මේ අතර හමාස් සංවිධානය සමග සටන් නැවැත්වීමේ යම් එකඟත්වයකට පැමණීම සඳහා ඊශ්‍රායලය වෙතින් සුබවාදී ප්‍රතිචාරයක් පළවී ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.
එය බොහෝ දුරටදැක්වෙන්නේ, දින 05ක සටන් විරාමයක් විය හැකි බවයි.
ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් කාන්තාවන් සහ ළමුන් නිදහස් කිරීමට හිලව් වශයෙන් ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් නිදහස් කිරීමට එකඟ වීමට ඉඩ ඇති බවද එම මාධ්‍ය සඳහන් කළා.
සටන් නැවැත්වීමක් සඳහා ඊශ්‍රායල රජය සහ එහි යුද කැබිනට්ටුව අනුමැතිය ලබාදුන් බවක් ප්‍රකාශයට පත්වී නැතත් ඊශ්‍රායල මාධ්‍ය පවසන්නේ ඒ සඳහා ඊශ්‍රායල රජය කොළ එළියක් දල්වා ඇති බවයි.
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය සටන් නැවැත්වීමක් සඳහා එකඟවීමට ආසන්න බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපතිවරයා සහ කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අලි-තානිද ප්‍රකාශ කර තිබුණේ එවැනි එකඟතාවකට කඩිනමින් එළඹීමට හැකිවනු ඇති බවයි.