පොලිතීන්වලින් වෙසක් සැරසිළි භාවිතා නොකරන ලෙස ඉල්ලීමක්

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතීන් ප්ලාස්ටික් වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකි බවත්, එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් පවතින බවත්, එබැවින් වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගන්නා ලෙසද එම අධිකාරිය ඉල්ලීමක් කර තිබෙනවා.
අංක 2034/37 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිඑතිලින් නිෂ්පාදන හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර එය දඬුවම් ලැබිය හැකි වරදක් බවද පෙන්වා දෙනවා.
මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට තවදුරටත් දන්වා ඇත්තේ, සියලු සත්ත්වයන්ගේ සුව සෙත පිණිස ම කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන අවස්ථාවේ, මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයට හානි සිදු නොකරමින්, පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ලෙස වෙසක් උත්සව සැමරුම් කටයුතු සිදුකරන ලෙසයි.