රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් ලබා දීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසඳුම් ඇතුළත් කරමින් පවත්නා ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ, අතුරුදන් වූ හා රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබුවා.
දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමි වන සහනය ප්‍රමාණවත් නොවන බවත්, භුක්තිවිඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත නිත්‍යානුකූල ලේඛනවල පවතින සීමාකාරී සාධක හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.