දේශීය

හීලෑ අලි ඇතුන් ගැන අලුත් තීරණයක්

නිසි ලියාපදිංචියකින් තොරව හීලෑ අලි ඇතුන් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු රිට් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය නිකුත් කළා.

වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ අලි ඇතුන් 15 දෙනකු ඔවුන්ගේ අයිතිකරුවන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුල් අයිතිකරුවන් පිරිසක් වෙත මුදාහැරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන ආයතනය ඇතුළු සංවිධාන කිහිපයක් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබුණා.

ඒ අනුව අදාළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ද්විපුද්ගල විනිසුරු මඩුල්ල බලපත්‍ර නොමැති වීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද අලි ඇතුන් යළි ඔවුන්ගේ අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කොළඹ හා මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් නිකුත් කළ නියෝග බල රහිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම දැනට වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇති අලි ඇතුන් යළි අයිතිකරුවන් වෙත මුදා හැරීම වළක්වමින් අභියාචනාධිකරණය රාජ්‍ය නිලධාරීන්ට තවත් නියෝගයක් නිකුත් කළා.

සිය තීන්දුව තුළින් අභියාචනාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් නියෝග කර සිටියේ නිසි ලියාපදිංචියකින් තොරව හීලෑ අලි ඇතුන් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button