සජබෙන් කෝප් සභාපතිට එරෙහිව විශ්වාසභංගයක්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව සඳුදා (20) බාරදීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර ඇති බවට පැවසෙන සබඳතා හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වාදී තිබෙනවා.
රංජිත් බණ්ඩාර මහතාගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවද එම විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි.
ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්නා බවද කතානායකවරයා පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ තීරණය කර තිබුණා.