දේශීය

කුවේට් රාජ්‍යයෙන් සහ ප්‍රංශයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කලක් රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර  පිරිමි 03 දෙනෙකු සහ ගැහැනු ගෘහ සේවිකාවන් 28 දෙනෙකු ඇතුළත්ව සිටි බවයි වාර්තා වන්නේ.

පසුගිය 12 දිනද කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබූ අතර, එම පිරිසට පිරිමි 09 දෙනෙකු සහ කාන්තාවන් 24 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව, මෙම සති දෙක තුළ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස්, වීසා නොමැතිව එරට රැදී සිටි, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වුණ ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වී තිබෙනවා.

මෙම පිරිස අනුරාධපුරය, කුරුණෑගල, ගාල්ල, මාතර සහ මොනරාගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 2,000 ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටින බවත්, ඔවුන් කණ්ඩායම් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි.

මේ අතර ප්‍රංශයේ සරණාගතභාවය ලබා ගැනීමේ අරමුණින් නීති වීරෝධි ලෙස රීයූනියන් දූපත වෙත ගිය ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු පිටුවහල් කර තිබෙනවා.

වාර්තාකරු සඳහන් කළේ,මෙම පිරිස ඊයේ (18) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි.

ප්‍රශ්න කිරීම් වලදී ,ඔවුන්  ප්‍රකාශ කර ඇත්තේ,රුපියල් ලක්ෂ 4 බැගින් ජාවාරම්කරුවන්ට ලබා දී කටුනායක සිට ඉන්දුනීසියාව  ගොස් එතැන් සිට බෝට්ටු මගින් රීයූනියන් දූපත වෙත මොවුන් ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button