ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ගැන තීරණයක්

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය වෙනුවෙන් අතිරේක දිනයක් ලබානොදෙන බව ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමට ICCය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන තීරණ කර ඇති බවයි වාර්තාවන්නේ.
2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජුනි 2 වනදා ආරම්භ වීමට නියමිත අතර අවසන් මහා තරඟය ජුනි 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය ආරම්භයට පෙර සඳහන් කර තිබුණේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟ සහ අවසන් මහා තරඟයට වර්ෂාවෙන් යම් බාධාවක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් අතිරේක දින ලබාදෙන බවයි.
පළමු අවසන් පූර්ව තරඟයට එලෙස අමතර දිනයක් ලබාදුන්නත් දෙවන අවසන් පූර්ව තරඟයට එලෙස අමතර දිනයක් ලබාදීමට හැකිවන්නේ නැති බවයි සඳහන්වන්නේ.
දෙවන අවසන් පූර්ව තරඟයට යම් හෙයකින් එලෙස අමතර දිනයක් ලබාදීමට සිදුවුවහොත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගන්නා ජයග්‍රාහී කණ්ඩායමට ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ පැය 24කටත් නොඅඩු කාලයක් පමණයි.
මේ හේතුවෙන් දෙවන අවසන් පූර්ව තරගයට අමතර දිනයක් ලබානොදී අමතර පැය 4ක් පමණක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම තීරණය කර තිබෙනවා.