ජාත්‍යන්තර දේශගුණ විපර්යාස සරසවියට කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක්

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වනවිටත් වෙන්කර ඇති බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ පසුගියදා (2) පැවති පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින්.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරු වීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර, තමා පසුගිය වසරේදී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත්, මේ වසරේ COP28හිදී ශුද්ධ ශූන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින්, අප ගොඩනඟන නව ආර්ථිකයේ ආකෘතිය ඉහළ තරගකාරිත්වයක් සහිත ඩිජිටල් පරිවර්තනය, බලශක්ති පරිවර්තනය, සහ හරිත පරිවර්තන මත පදනම් වනු ඇති. අයවැයෙන් පසු මා මේ පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඇති එකම මාර්ගය මෙයයි.
කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ වේගවත් කිරීම මේ මත ගොඩ නැගෙනවා. මෙහිදී අපගේ හැකියාවන් හඳුනාගත යුතුයි. සියලු දෙනා පවසන ආකාරයට ශ්‍රී ලංකාව කුඩා වීම තුළ වාසි රැසක් තිබෙනවා.
අපට විශාල වියළි කලාපයක් තිබෙනවා වගේම අපේ ජනගහනය මිලියන 22යි. ඒ නිසා අපට අතිරික්ත හරිත බලශක්තියක් ලැබෙනවා. අප දැන් සූර්ය බලය පමණක් නොව සුළං බලය, හයිඩ්‍රජන් බලය ආදිය පිළිබඳව ද අවධානය යොමු කරනවා.
ඒ වගේම, ශ්‍රී ලංකාවට මේ මොහොතේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම නැහැ. ඒ නිසා ඒ විශේෂඥ දැනුම ලබාගැනීමට නව සැලැස්මක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත සහ අපේ ද්විපාර්ශ්වික හවුල්කරුවන් වෙත යොමු වෙනවා.
ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල මෙම වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා, අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය( ICCU) ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන විශ්වවිද්‍යාලයක් නොවෙයි. එය ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ ද විශ්වවිද්‍යාලයක් වනු ඇතියි. එය ඉදිකිරීම සඳහා දැනටමත් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් අප වෙන් කර තිබෙනවා.
තෙවනුව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සඳහා මුදල් යෙදවීමේ හැකියාව වර්ධනය කරනවා. ඇත්ත වශයෙන්ම දේශගුණික අරමුදල් පිළිබඳ හැකියාව සහ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ගෝලීය උතුරට, බහුපාර්ශ්විකයන්ට සහ චීනය, ඉන්දියාව වැනි විශාල රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබෙනවා. අප සියළු දෙනාටම එම හැකියාව නැහැ. හරිත ආර්ථිකය වෙත ගමන් කරන නිසා , අප එම අරමුදල් යෙදවීමේ හැකියාව ගොඩනගමින් සිටිනවා. ඒ නිසා මා ඉහළ මට්ටමේ කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත් කරනු ලැබුවා. ආර්ථික ස්ථායීතාවය පිළිබඳ උපදේශකවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, සහ පරිසර ආමත්‍යාංශයේ ලේකම්, ඇතුලත් මේ කණ්ඩායම නිරීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි. ගෝලීය වශයෙන් සිදු වන සාකච්ඡාවලට සහභාගි වන්නේද මෙම කණ්ඩායමයි.
මන්දයත් ගෝලීය දකුණේ නොමැති එකම දේ මෙයයි. අපට ඒ විශේෂඥ දැනුම නැහැ. දේශගුණික මූල්‍යකරණය සම්බන්ධයෙන් අප එය ගොඩ නගා නැහැ. මෙම සාකච්ඡාව COP28 සඳහා පෙරවදනක් වනු ඇතියි. COP28 යනු ගෝලීය තක්සේරුවක් සිදු කරන වැදගත් රැස්වීමක් බව කිව යුතුයි. අපට COP 28 සාර්ථක කරගන්න වෙනවා. ශ්‍රී ලංකාව නිසැකවම ඊට සහභාගී වෙනවා වගේම , එය සාර්ථක කර ගැනීමේ අරමුණින් අපේ අදහස් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.”