දේශීය

ආණ්ඩු​වේ වාහන 5000ක් අතුරුදන්

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇති බ​ව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වනවා.

මෙම අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙනවා.

විගණන නිලධාරීන් පවසන්නේ, බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ ඇතුළු ආයතන රැසකට අයත් වාහන මෙලෙ​ස අතුරුදන්ව ඇති බවයි පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්වී ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  පසුගියදා තොරතුරු අනාවරණය වුණා.

මෙලෙ​ස අතුරුදන් වාහන 1794ට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1,115ක් ඇතුළත්.

බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 177ක පැවරීම්වල නීත්‍යානුකූල භාවය පවා තහවුරු කර ගැනීමට නොහැකිවී තිබූ බවද විගණන වාර්තාවක සඳහන් වනවා.

මෙලෙ​ස අතුරුදන් වාහනවල වටිනාකම තක්සේරු කිරීමට ජාතික විගණන කාර්යාලයට පවා නොහැකිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන ඇණිය පිළිබඳ  කළ නියැඳි පරීක්ෂණයට අනුව වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියද  දුර්වල තත්ත්වයකට පත්ව තිබුණු බවත් සඳහන්.

මේ අතර  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ  නමට ලියාපදිංචි කෙරුණු  මෝටර් රථ 212  ක් අස්ථානගතවී ඇති  බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානීන් විගණන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනවලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට කටයුතු කෙරෙන බවයි.

අමාත්‍යාංශ ලේකම්ගේ නමට ලියාපදිංචි කෙරුණු  වාහන නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කරන්නැයි විගණන කාර්යාලය අධ්‍යාපන බලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

මේ අතර රජයට අයත් සෑම රථයක්ම භාවිත කරන ආයතන නමින් ලියාපදිංචි කළ යුතු වුවත් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වාහන අටක් භාවිතා කළද ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයට  කටයුතු කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වෙනවා.

එම වාර්තාවන්හි දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විගණනයට  පිළිතුරු ලබාදී නැති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණා.

නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමේන්තුවට අයත් හා පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 1124ක් බව විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇද්ද පිළිබඳ පරීක්ෂා කළ යුතු බව විගණනයම නිර්දේශ කර තිබෙනවා.

මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත්තේ දෙපාර්තමේන්තුව යටතේ සඳහන් කර ඇති වාහන 2004න් 1124ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර  ඇති බවයි.

ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව තුළ නොමැති බවත්  ඒවා තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුවේ නොමැති බවත්  ගණන් දීමේ නිලධාරියා විගණනයට ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button