ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීමට කඩිනම් යෝජනා 13ක් ජනපතිට

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසනවා.
ඒ අනුව මෙවර අයවැය මගින් ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති හදුන්වා දෙනු ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරනවා.
මෙරට ජනගහනයෙන් 20% ක පමණ පිරිසක් යැපෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන්.
අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කරන්නේ, යම්කිසි ලෙසකින් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනහොත් රටේ මුළු ජනගහනයෙන් 1/5 කගේ ජන ජීවිතය අකර්මන්‍ය වන බවයි.
ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේවන විට මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත්, ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි.
කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ කළුතර දිස්ත්‍රික් උපදේශන සේවා ජංගම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ජාතික ඉදිකිරීම් සංගමය එක්ව මෙම උපදේශන සේවාව සංවිධානය කරනු ලබනවා.
දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණපා ඇති ගැටළුවලට විසඳුම් ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම මෙම ජංගම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියාමකයා ලෙස, 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන අනුව කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබනවා.
ශ්‍රී ලාංකීය ඉදිකිරීම් කර්මාන්තය රටේ ආර්ථිකය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන නමුත් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල වුණා.
ඉන් පීඩාවට පත්වු මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ආරවුල් විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නොමිලේ මෙම උපදේශන වැඩසටහන පවත්වනු ලබනවා.
මීට සමගාමීව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් නිපුණ ඉදිකිරීම් ශිල්පී හැදුනුම්පත ලබාදීම සදහා ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමද මෙහිදී සිදුකළා.